Sunday, January 31, 2010

සරත් ෆොන්සේකා වැඩ අල්ලයි...

ජනාධිපතිවරනයෙන් කුජීතු වන්නට පැරදුනු විශ්‍රාමික හමුදා නිලධාරියා නොහොත් SF හෙවත් සිම්පල් ෆන් එකට ප්‍රභාකරන් මරා දැමූ පුද්ගලයා රට ආපස්සට හැරවීමේ ක්‍රියාවලිය සදහා යලි වැඩ අල්ලා ඇති බව වගකීමෙන් යුතුව කියා සිටිමි. මෙහි ඇති භයානකම තත්වය වන්නේ නාදුනන කන්ඩායම් පමණක් නොව රහස් පොලිසිය, උසාවිය හා හමුදා නිලධාරීන් මෙන්ම රජයේ තනතුරු දරණ දේශපාලකයන්ද මෙහිදී ඔහුට සෘජුව හෝ වක්‍රව සහය දෙන බව පෙනී යෑමයි.

මෙහි මුල් පියවර ලෙස ඔහු ඇතුලු පිරිස රජය සමග එකග නොවන මාධ්‍යයන් හා මාධ්‍යවේදීන් දඩයමක් අරඹා ඇත.මෙයින් ඔහු අදහස් කරනුයේ රජය දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද අපහසුතාවයට පත්කිරීම විය හැක. එම නිසා මෙබදු කුමන්ත්‍රණකාරයන් හෙලිකිරීම හා ඔවුන්ව අල්ලා හම ගැසීමට රජය නොපමාව කටයුතු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මේ අසික්කිත කුමන්ත්‍රණය ෆොන්සේකා විසින්ම කරනු ලබන බව අපට සහතික කොට කිව හැක්කේ අතිගරු ආරක්ෂක ලේකම් තුමාම වරක් කියූ පරිදි ෆොන්සේකා හමුදාපතිධුරය දරද්දීද මෙබදු කුප්‍රකට ක්‍රියා රාශියක් සිදුකර ඇති හෙයිනි.එකල සිදුවූ සිදුවීම් හා මෙකල සිදුවන සිදුවීම වල සමානබව මේ කෙරෙහි ඇති ෆොන්සේකාගේ සම්බන්දය මොනවට පැහැදිලි කරයි.

උදා: ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගියේ සුදු වෑන් රථයකිනි.

ඒ අතර නාදුනන අවිගත් පිරිසක් ලන්කාඊනිව්ස් කාර්යාලයට ඉබි යතුරු දමාවසා ඇත. අනිවාර්යයෙන්ම මේ ෆොන්සේකා විසින් තනාගත් හමුදාවක් විය යුතුය. ඔවුන් මර්ධනය කිරීමට වහා පියවර ගත යුතුය. නමුත් බරපතලම සිද්දිය වන්නේ රහස් පොලීසියද මේ අනුව යමින් ලන්කා පුවත්පතට සීල් තැබීමයි. මෙය ෆොන්සේකාට හිතවත් නිලධාරීන් තවමත් ඒ තුල සිටින බවට ප්‍රබල සාක්ෂියකි.

ෆොන්සේකා කෙතරම් ජාතිද්‍රෝහී හා වයිරී ආකාරයෙන් කටයුතු කරන්නේද යත් ඇතැම් විට සිය ජීවිතයට හානි පමුනුවාගෙන එහි වරද මේ කශේරුවක් ඇති ජනමූල ආන්ඩුව මත පැටවීමටද ඉඩ නැතුවා නොවේ.

එමනිසා මේ රටට ආදරය කරන රට පිලිබදව කැක්කුමක් ඇති සියලු සිවිල් චරිත වලින් ඉල්ලා සිටින්නේ මෙම දේශද්‍රෝහී කුමන්ත්‍රණයට එරෙහිව යලිත් පෙල ගැසෙන ලෙසය. ඇතැමුන් එය කඩේ යෑමක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද, කඩේ යෑම මොනතරම් ආඩම්බරයට හේතුවක් දැයි ඔබ දැනටමත් පෙන්වා ඇති හෙයින් එය ගැටලුවක් නොවන බව මගේ හැගීමයි.

අවසාන වශයෙන් මේ දේශ්ද්‍රෝහී ෆොන්සේකාට චන්දය දුන් උන්ට කීමට දෙයක් ඇත. "තොපිට සුභ අනාගතයක්...........!"