Saturday, April 23, 2011

ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය : Posted on April 2, 2010 by beyondframe

හදිසියේම ජනප‍්‍රිය මතය ඔහුට එරෙහිව ගියේ ය. ඔහුගේ සගයෝ ඔහු හැර ගියෝ ය. ඔහු සතුරන් වෙත බාර දෙන ලද්දේ ය. ඔහුට විරුද්ධව නඩු පැවරුණු අතර නඩුව රැවටිල්ලක් ද කෝලමක් ද විහළුවක් ද වූයේ ය.
නඩුව අසන වාරයේ විනිසුරුවරු ඔහු සතුව තිබු එකම දේපල පරදුවට තබමින් සූදු කෙළියේ යෙදුනෝය
ඒ විගඩම් නඩුව අවසානයේ දඩුවම් නියම කරන ලද්දේ ය.
මෙ කතාවෙ කතා නායකයා සරත් ෆොන්සේකා නොවෙ. දේශපාලන බ්ලොග් අඩවියකට ඇති ප‍්‍රශ්නය එයයි. කියා ගෙන යන විට එයින් මතුවන්නේ ම දේශපාලන පින්තූරයකි.
අප කීවෙ අද මහ සිකුරාදා ඒ නියම කරන ලද දඩුවම අනුව කුරුසියේ ඇණ ගසා මරා දැමුණු ජේසුතුමන් ගැන ය.
ඉතිහාසය පුරාම විහිළුකාරයෝ විනිසුරු අසුන්වල ඉඳගෙන උන්හ. බොරු නඩු නිමිත්තක් ගෙන නිසරු නඩු ඇසීමකින් පසු තකතිරු තීන්දුම දුන්හ.
එය දෙවියන්ගේ දේවදූතයා සම්බන්ධයෙන් වත් වෙනස් වූයේ නැත.
එහෙව් ලෝකයකින් සාධාරණ නඩුවිභාගයක් පතන චුදිතයින්ට අපි අනුකම්පා කරමු. ඊට වඩා කුමක් නම් කරන්න ද?
අපට කියන්නට ඇත්තේ ඒ විගඩම් නඩුව අවසානයේ ද නොකළ වරදකට දඩුවම් නියම කිරීමට නියමිතව ඇති බව ය.


ප.ලි:
මේ සටහන මගේ නොවේ. beyondframe නම් අයෙකුගේය. ඔහු කවුදැයි මා නොදන්නා අතර පසුගිය ජනවාරි 11 දායින් පසු ඔහු සටහනක් තබා නැත. මා මෙය උපුටාගත්තේ මහ සිකුරාදාවට අදාල නිසා පමණි. 
ඒ හැර කිසිදා ජුදාස්ලා බිහි නොවන මේ උතුම් දීපයෙහි ජේසුට අලගු තියන්නට තරම් හෝ එකෙක් තැනෙනු ඇතැයි මා කිසිදා නොසිතමි.