Wednesday, March 31, 2010

සු.. ගෙන් සොරකම් කරන ලදී......

මේ ගීතය ලියැවෙන්නේ සහ කියැවෙන්නේ මොන තරම් නරුම රටකද? මේ ගීතයේ නිර්මාතෘ මොන තරම් බැට කැ රටකද? මේ ගීතයෙන් කියැවෙන්නේ කුමන ඉරනමක් කරා ඇදී යන ලමා පරපුරක් සිටින රටකද?
මෙහෙව් රටක මෙතරම් සුබ සිහින දකින මිනිසුන් සිටීම මොනතරම් වාසනාවන්තද?

සු... ස්තුතියි වීඩියෝ එක ගැන තිබුනු පොස්ට් එකට.  සමාවෙන්න ලින්ක් එක හොරකම් කලාට.

හඳගම මම හඩමි. ඒ කඳුලු නුඹට ගරුකොට මෙහි පුදමි.

වීඩියෝව මෙතැනින් බලන්න. ( මෙහි නිර්මාතෘ අශෝක හඳගම යැයි මා නිගමනය කලේ යූ ටියුබ් හි තිබූ කමෙන්ට් වලිනි).

Tuesday, March 23, 2010

Akon නම් වූ දේවදත්තයා...

ප්‍රභාකරන් යන්න ගියේය. නෝර්වේ උන් ඇවිත් ගියෝය. ෆොන්සේකා හිරේ ගියේය. මල්ලියෙ දැන් ඇමෙරිකන් අධිරාජ්‍යවාද කතාද මිනිසුන් ඒ තරම් ගණන් ගන්නේ නැත. ඒ විතරක් නොව සල්ලි දී පත්තරේට අන්දවාගත් කාටූනය දමා ගැසූ කටවුට් වත්, හති එලාගෙන පැගූ බයිසිකලයවත් පරණ සීන් තරම් නැග යන්නේ නැත. මෙහෙම ගියොත් මුන් අපට කෙලෙහිගුණ සැලකීම අතහැර දමනු ඇත. දැන් තවත් ආලවකයකු හෝ දෙව්දත්තයකු සොයාගැනීමට කාලයයි. එහෙයින් ඒ පැත්තේද මේ පැත්තේද බලා හොඳ බයිට් එකක් සොයාගත යුතුය. බහුතරයක් හුදී ජනයා ආශ්වාදයෙන් නන්නත්තාර වී යන ජාතියේ මාතෘකාවක් මවා හෝ ගතයුතුය.



මට මතක හැටියට කතන්දරය පටන් ගත්තේ තාක්ෂණයත් සමග මහා ඉහලින් ගනුදෙනු කරනවා යැයි සම්මත පිරිසක් අතිනි. ඔවුහු මූණුපොතේ කණ්ඩායමක් තැනූහ. ඒ අකොන්ට එරෙහිවය. මා අකොන් ලංකාවට එනබව දැනගත්තේ මෙම මූණුපොත් කන්ඩායමෙනි.

අකොන් යනු කවරෙක්ද? මාගේ කියවීම අනුව ඔහු හීනමානයෙන් පෙලෙන එය වසා ගැනීම උදෙසා ආරෝපිත අධිමානයකින් කටයුතුකරන කිසිවෙකුටත් අවනත නොවන තරම් ලජ්ජා විරහිත තරුවකි ( මෙබඳු තරු අප රටේද මහ පුටුවේ පටන් සියලු ක්ෂේත්‍රයන්හි ඇති තරම් සොයාගත හැක).
ඔහු සිය සංදර්ශන වලදීද, වීඩියෝ බහුතරයකද එතැනින් එහාට ගීත රචනා රැසකද කාන්තාව යනු ඉතා පහත් මටටමේ ලිංගික භාණ්ඩයක් ලෙසට හුවා දක්වයි. ( විය හැක. අපේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් හැර අන් කිසිදු ගැහැණියක් උත්තරීතර නොවන සන්දර්භයක අකොන් මවන ගැහැනියට වඩා වෙනස් ගැහැණියක් මේ ශ්‍රී දේශයෙන් පිට සිටිය නොහැක්කේමය. ඇතැම් විට අකොන් ලංකාවට විත් යහතින් ගියහොත් ඔහු දමනය වී අනර්කලී ආකර්ශා හෝ ගීතා කුමාරසිංහ නැතහොත් සංගීතා වීරරත්න වැනි හෙල කුල කතක් යොදාගන උතුම් නිර්මාණයක් කරනු ඇත. එවිට අපට ඔහු ගරු නාමයකින් පවා පිදිය හැක. ත්‍රී සිංහල කාන්තාරක්ෂක වැන්නක්......).
මට අකොන් ගැන තවත් බොහෝ දේ ලිවිය හැක. නමුත් මේ ඊට තැන නොවන්නේය. මන්ද යත් අකොන් යනු මේ මොහොතේ අප සියල්ලන්ගේ අනෙකා වන හෙයිනි. මට අනෙකා පට්ට ගැසීමට අව්ශ්‍ය නැත. ඒ වෙනුවට අනෙකා තුලින් හා ඔහුට අප දක්වන ප්‍රතිචාර මතින් අප තේරුම් ගැනීමට සූත්‍රයක් නිර්මාණය කොට ගැනීම වඩා යහපත් යැයි මට හැඟෙන හෙයිනි.

ශ්‍රී ලාංකිකයන් අකොන්ට විරුද්ධ වන්නේ ඇයි?
ඔහුගේ වීඩියෝවක බුදුරුවක් ඉදිරියේ නටන අඩ නිරුවත් කතුන්ගේ දර්ශනයක් අඩංගුව තිබීම හේතුවෙනි.  

ඉඳින් දැන් සියල්ල සෙට් වී ඇත. මේ අවලමා ලංකාවට ගෙන්වන උන්ටත් ඌටත් බෝම්බ ගසා වනසා ශ්‍රී ලාංකීය කීර්ති නාමය රැකගත යුතුය. බුදුන් වෙනුවෙන් මැරෙන්නට නොව මරන්නට ලද වරමේ රඟ ලොවටම පෙන්වා දීමට මෙබඳු අවස්ථාවක් ආයෙත් ලඟදී නම් නොලැබෙනු ඇත.

ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින සිංහල බෞද්ධ චන්ඩි ශ්‍රද්ධාවතුනි. මට ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇත.

01. මේ වීඩියෝව ප්‍රසිද්ධ කෙරුනේ 2009 ජූලි මාසයේය. ඉතින් ඇයි මෙතරම් පමා..........
02. මහා භික්ෂු සංහාරයක් කල මියන්මාර නායකයා පසුගියදා මෙරටට ආවේය. ඔහුට විරෝධය නොදැක්වූයේ අමතක වීමකින්ද?
03. මා දන්නා තරමින් බුදුන් වහන්සේ දේශනාකල පරිදි අයහපත් ජීවිකාවන්හි යෙදෙන්නන් කිහිප පොලක්ම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වී ඇත. ඔවුන්ට විරුද්ධ නොවන්නේ දහම පිළිම තරම්ම නොවටනා හෙයින්ද?
04.  තමාට අපහාස කල චිංචි මානවිකාවට බුදුන් සැලකූ ආකාරය අමතක වීම ධාර්මිකව පැහැදිලි කරගත හැක්කේ එල්ලාවල හිමියන්ගෙන්ද නැතිනම් උඩුවේ හිමියන්ගෙන්ද?
05. ප්‍රතිපත්තියෙන් බුදු පුදකල නොහැක්කා, ආමිස පූජාව උදෙසා ඉරාගෙන දැගලීම අවස්ථාවාදයද?

 බුදුන්ගේ දහම දියුණු මනසක් ඇත්තන්ටය. මනස දියුණු වීම යනු ගොදුරු ගසාකැමට ඇති කපටි කම නොවේ. නිවැරදි දේ නිවැරදි ලෙස දැකීමත්, වැරදි දේ වැරදි ලෙස දැකීමත්, ඉන් ලද අවබෝධය අනුව කටයුතු කිරීමට ඇති හැකියාවත්ය.

තෙරුවන් සරණයි....

Tuesday, March 9, 2010

මැන්ගනීස් ඩයොක්සයිඩ් හා පොටෑසියම් පර්මැන්ගනේට්...

අප රසායනාගාරයේදී ඔක්සිජන් තැනීම පිලිබද ඉගෙනගත්තේ අට හෝ නවය වසරේදීය. ඒ සදහා යොදාගත් ක්‍රම කිහිපය අතුරින් තවමත් මා සිත රැදී ඇත්තේ පොටෑසියම් පර්මැන්ගනේට් හා මැන්ගනීස් ඩයොක්සයිඩ් එකට රත්කර ඔක්සිජන් තැනීමය.මා ජීවිතයේ වඩාත්ම ඇලුම්කරන සහ භාවිතාකරන වචනයක් වන "උත්ප්‍රේරකය" යන්න ඉගෙනගත්තේද මෙම පරීක්ෂණය කරද්දීය.
බොහෝවිට මීට හේතුව වන්නට ඇත්තේ මේ රසායනිකයන් දෙකෙහි සුවිශේෂී ගුණාන්ගයි. පොටෑසියම් පර්මැන්ගනේට් වලට තනිව ඔක්සිජන් නිපැයීම පහසුවෙන් කල නොහැක. ඒ සදහා අධික ශක්තියක් ඇවැසි වේ. මැන්ගනීස් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් ලබාගැනීමක් ගැන කිසිදා කථා කරනු මා අසා නැත. නමුත් මේ දෙක එක් කලවිට සාමාන්‍යය පරීක්ෂණාගාර තත්ව යටතේ ඔක්සිජන් නිපදවිය හැක!

මාගේ මීට පෙර ලිපියේදී විපක්ෂය දෙකට බෙදී තරගකිරීම පිලිබදව මාගේ අප්‍රසාදය පල කලෙමි.
මේ මොහොත වන විටද එම අප්‍රසාදය එලෙසම පවතී.  වෙන්ව තරග කිරීමට ගත්තා වූ තීරණය හශාන් කියූ පරිදි උපක්‍රමික වෙනස් වීමක් හෝ ටැබූ කියූ පරිදි සිනර්ජියක් ( 1+1>2) නැතිවීම නිසා වූවකැයි පිලිගැනීමට මා මැලි වන්නේ, මහ මැතිවරණය තනි ඌරකුගේ මඩවලක් කරගැනීමට ඉඩ සාදාදුන්නේ මෙම වෙන්වීම නිසා බව විශ්වාස කරන හෙයිනි.

මම ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි බලාපොරොත්තු දල්වා සිටියෙමි. ඒ මේ දේශපාලනය තුල තවදුරටත් සුපිරිසිදු යූ.එන්.පි යක් හෝ ජේ.වී.පියක් නොමැති යථාර්තයක් තුල දේශපාලනය යනු පක්ෂයක් බදාගෙන පක්ෂයක ඉහල මට්ටමේ ඔලුගෙඩි ගන්නා ඕනෑම තීරණයක් හරියැයි කියන අදේශපාලනික තැනක සිට පොදු අරමුණක් වෙනුවෙන් පක්ෂ අමතක කර දමා ඉදිරියට ඒමේ ශක්‍යතාවක් සහිත චලනයක් ඒ තුලින් විද්‍යාමාන වූ හෙයිනි. එය තාවකාලික මැතිවරණ පරාජයක් සදහා හේතු විය හැකි වුවද දීර්ඝකාලීන යහපත් දේශපාලන සන්ස්කෘතියක පාදම වියහැකිව තිබූ හෙයිනි. ඒ සිහිනයට වෙඩි වැදී ඇත. හන්සයන් කිරි සෙවූ බිම අලින් හා කුසලානයන් දෙකට බෙදාගෙන ඇත. කොරුන් සහ අන්ධයන් වෙන් වෙන්ව ගොලායත්ට එරෙහිව සටනට බැස ඇත.

සත්‍යයකි. ජනාධිපතිවරණයේදී තිබූ ගැම්ම රජයේ මර්දනය විසින් හා ජනාධිපතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිපලය විසින් බාලකොට ඇත්තේය. නමුත් එයම සැබෑ හේතුව වන්නේද? මේ වෙන්වීම මගින් සිදුකොට ඇත්තේ මැන්ගනීස් ඩයොක්සයිඩ් නිකන්ම කලුපැහැ කුඩක් ලෙසත් පොටෑසියම් පර්මැන්ගනේට් තම වියෝජනයට ඇවැසි ශක්තිය නැතිවගිය රසායනයක් ලෙසටත් අසරණව සිටිද්දී ඔක්සිජන් වෙනුවට ඇමෝනියා නිශ්පාදනය කරන ගෝ මූත්‍රා බදුනක් ලාන්කීය දේශපාලන තෙපාව මත රැගුම් පෑම නොවන්නේද?