Wednesday, July 28, 2010

වත්ත සුද්ධ කිරීමට ගොස් ගස්වලට පොලු ගැසීම.....

.

අප බොහෝ දෙනෙකු සිය දිවියේ එක් වරක් හෝ පිරිස් පිටින් ගොස් යම් පොදු කටයුත්තකට උදව් දී ඇති බවට සැක නැත. ඒ බොහෝ විට මළ ගෙදරක වත්ත සුද්ධ කිරීම හෝ හට් ගැසීම විය හැක.

මෙබන්දකට සහභාගි වූ බහුතරයක් කරන මුල්ම කටයුත්ත වන්නේ  කලයුතු කටයුතු පසෙක ලා නිවසේ ඇති කුමක් හෝ ගසකට පොළු ගසා ගඩා ගෙඩි කැඩීමය. නැතිනම් ගැටිස්සියන් පිරිසකගේ අවධානය ලබා ගැනීම උදෙසා වීරක්‍රියා ලෙස පෙනෙන කුමක් හෝ ගොබ්බ වැඩක් කිරීමය.

මේවා කරන්නට ගිය විට පැමිණි වැඩය අතපසු වේ. පැය බාගයකින් ඉවරකරගත හැකි වැඩය පුරා රැයක් ඇදේ. නමුත් වැඩය ආතල්ය. සතියක් පමණ කථා කරන්නට දේවල්ද ඉතිරි වන්නේය.

අප බහුතරයක් මෙම පුරුද්ද අපේ එදිනෙදා ජීවිතවලටද රැගෙනවිත් ඇත. ඒ තම වෘත්තීය වගකීම් වලදීද ආතල් එකට, පොරත්වයට මුල දීමයි. එසේ කිරීම හේතුවෙන් කල යුත්ත පසෙක තිබියදී වෙනත් මඟුලක් වෙනුවෙන් මහන්සි වීමයි.


නමුත් මෙබන්දන්ට ආදර්ශයක් විය හැකි මහා පඬිරුවනක් හෙළයේ මහිමයට පහලව ඇත්තේය.  ඒ වෙන කිසිවෙක් නොව මහාචාර්යය කාලෝ ෆොන්සේකා විද්වතාණන්ය. 

එතුමාණෝ දුම්වැටි මධ්‍යසාරවලට වැට බැන්දේ ඉතා සූක්ෂම ලෙස සිය බුද්ධිය යොදාගනිමිනි. දුම්වැටි හා මධ්‍යසාර මිනිසුන්ගේ දෑසට නොපෙනෙන ලෙස තැබූ විට කිසිවෙකුත් ඒවා පිළිබඳව දැනගන්නේ නැති නිසා ඒවා හංගා තැබීම ඉන් පලමු පියවරයි.

ඒ අනුව දැන් කිසිදු කඩයක ඉදිරිපස තබාගෙන ඒවා විකුණන්නේ නැත. අසමජ්ජාතියෙකු ගොස් ඒවා ඉල්ලූ විටද මුදලාලි  ඉල්ලූ එකාගේ හැඳුනුම්පත බලා, ඉන්පසු වටපිට බලා, අනතුරුව දෙකට නැමී හංගා තිබූ තැනින් ගෙන මහින්ද වින්තන පිටුවක ඔතා අතට දෙයි. හරියට ඉස්සර පිටකොටුවෙ කඩයකින් වැල පත්තරයක් ගන්නා සේය.

මඟ දෙපස හා සුපිරි වෙළඳ සැල්වල තිබූ බාර්වලටද ඒ සන්තෑසියම වී ඇත. ඒවා ප්‍රසිද්ධ මහජනයන් ගැවසෙන ස්ථාන වූ නිසා එතුමන්ගේ අණින් ඒ සියල්ල වසා දැමිණි. එසේ නැතහොත් ප්‍රචාරණයට කිසිදු රුකුලක් නොලැබෙන පරිදි ඒවායේ දැන්වීම් පුවරු බාහිර පෙනුම ආදිය වෙනස් කෙරිණි. ඔබ දැන් නිතර දකින කොටු සහිත රෙදිවලින් වසා දමා ඇති ගොඩනැගිලි කරලියට පැමිණියේ මෙතුමාගේ තේජසිනි.

එතුමන්ගේ මේ මහඟු කර්තව්‍යයට හරස් කැපීමට උත්සාහ දැරූ බටහිර ඒජන්තයන්ද නොසිටියා නොවේ. ඔවුහු ඒ අනුව කඩවල දුම්බොන කාමර ඇති කලහ. බස් හොල්ට් අසල දුම්බොන හට් ඉදිකලහ. මේ බැව් දැනගත් එතුමාණෝ එදා කතරගමදී ගිනි පෑගූ දෙපයින් ඇවිදගොස් එම පයින්ම ගසා ඒ සියළු ඉදිකිරීම් සමතලාකර දැමූහ.
 
මෙකී නොකී අටෝ රාශියක් කර්තව්‍යයන් මඟින් මත හා එහි ප්‍රචාරණයට වැට බැඳි එතුමාණෝ දැන් නාට්‍යවල හා පිට්ටනිවල සීන් පිළිබඳ සොයාබලා ක්ෂණික පියවර ගනිමින් සිටිති. ඒ අන් සියළුතැන් සුද්ධ කර අහවර හෙයිනි.

මෙයින් පසුව අරක්කු සිගරට් හෝ ඊට පර්යාය පද සිංහල වදන් කෝශයෙන් බැහැරකිරීමේ කර්තව්‍යයටද එතුමන් අතගසන බව ලංකාදීපයේ කරළියේ කතා බහට හෙට්ටිගේ නමැත්තකු පවසා ඇත.

ප.ලි.; කිසියම් කඩප්පුලියෙකු විසින් "හික්කා2010" වැනි තැනකට ගොස් පැමිණ මේ ලියා ඇත්තේ බොරුයැයි කිව හැක. නමුත් ඔවුන් දැනගතයුත්තේ එබඳු උත්සව නාට්‍ය දර්ශන මෙන් ලොකු කටවුට් ගසා, මහා පරිමාණ ඇඩ්වර්ටයිසින් කැම්පේන්කොට කරන වැඩ නොව, අප්‍රසිද්ධියේ රටට (???) කීයක් හෝ සොයා ගැනීමට කරන වැඩ බවය. මේ සම්බන්ධයෙන්ද අප මහැදුරාණෝ අනාගතයේදී තීරණයක් ගනු ඇත. නමුත් ඊට පෙර වඩා හානිදායක නාට්‍යවල හා රූපවාහිනීවල දර්ශන නවතා සිටිය යුතුය.

.

Wednesday, July 21, 2010

ආපසූ හැරේ......න්..........!

.


මේ දිනවල ඉතා වැදගත් සංකල්පයක් කරළියට පැමිණ තිබේ. ඒ පුරාණ ජීවන රටාවට (අතරමඟදී අපට මඟහැරුණු - අප බෑයි කියද්දීත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් හා ඔවුන්ගේ දේශීය බත්බැලයන් විසින් බලෙන් අත් හැරවූ) යලි ගමන් කිරීමයි. මහින්ද චින්තන වීරයන්ට අනුව මෙය දේශීය ආර්ථිකයට නව ගැම්මක් දීමකි. උපවාසවංශට අනුව මෙය ෂුගර්, කොලෙස්ටරෝල් අඩුකරගෙන සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට ඇවැසි මූලිකම පියවරයි.

ඔවුන්ට අනුව පාන්මිල වැඩිවන්නේ බත් කවන්ටය. ගොවියාගේ හාල්ටික විකිණී ගොවියා සුඛිත මුදිත කරන්නය. මේ බව දැනටමත් සාර්ථක වී ඇති බව පොලොන්නරුව පැත්තේ මෝල් හිමියන්ගේ පැල්පත් හා ගොවියන්ගේ මාළිගා දුටුවිට පැහැදිලි වේ. මේ මහා ආර්ථික විශ්ලේෂකයන් හුරේ දමන සහනය කිසිදා ගොවීන් අතට නොයන්නේ අතරමැදියන් පිරිසක් නිසා බවත් එයට විසඳුමක් සෙවිය යුතු බවත් ඔවුහු අමතක කරති. යටත් වැසියෝද අමතක කරති. ඒ වෙනුවට කථාවට විසිල් ගසති.

උපවාසවංශ අපගේ පැරණි පරිභෝජන රටාවට යෑමට කථා කරන ගමන් GSP+ යනු එම රටවල් තම පාරිභෝගිකයා වෙනුවෙන් දුන් සහනයක් යැයිද, එම නිසා ඊට කෙලවුනාට කමක් නැතැයිද පවසයි. ඒ වෙනුවට දේශීය කර්මාන්ත නගා සිටුවීමට කථාකරයි. එය නැතිවීමෙන් කඩා වැටෙන්නේ දේශයට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ඇඟළුම් කර්මාන්තය බව ඔහුගේ උපවාසගාමී මොළයට නොතේරේ. එම සහනය සියළු රටවලට ලබාදී නැතිබව මේ කපටි දේශපාලුවා මෙහිදී නොකියයි. ඒ වෙනුවට ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් පිලිතුරු දෙයි. නමුත් මෙහිදී මොහු අමතක කරවන කාරණය වන්නේ GSP+  බදු සහනය මඟින් අප නිෂ්පාදන අඩු මිලකට විකිණීමේ හැකියාව ලැබුණු බවත් ඒ නිසා නිෂ්පාදන පිරිවැය අඩු වියට්නාමය, ලාඕසය, චීනය වැනි රටවල් වල අඩුමිල නිෂපාදන සමඟ අපට සටනක් දීමට හැකිවූ බවත්ය. දැන් ඒ අඩුමිල ලබාගන්නට වන්නේ අපේ ශ්‍රමිකයන්ගේ වැටුප හෝ පහසුකම් අඩුකිරීමෙන් පමණක් බවත්ය.

මට අනුව නම් මේ සියල්ල තක්කඩිකම්ය.  අප සමාජය ආපසු හැරී යා නොහැකි තරම් දුරකට පරිභෝජනවාදය ඔස්සේ පැමිණ ඇත. එහෙයින් ආපසු යෑම මාරයි යන්න ප්‍රලාපයක් පමණි. මොවුන් කිසිවෙකුත් ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් දරන්නේ නැත. මෙම ක්‍රමය පවත්වා ගැනීම උදෙසා නොස්ටැලිජියානු ආතල් එකක් ගම්‍ය කරනවා පමණි.

තේරුම් ගැනීමට මඳක් අපහසුවන්නේ මේ රටේ මිනිස්සු මෙතරම් මේ සංකල්ප විශ්වාසකරන්නේද මේ දේශපාළුකථා වලට හුරේ දමන්නේ ද මන්ද යන්නයි. එය අනවබෝධය විය නොහැක.

එසේ නම් එයද තක්කඩිකම විය යුතුය. එසේ සිතීම වඩාත් තර්කානුකූල වන්නේ පෝදා උදේ පන්සල් ගොස් පැමිණ, පෙරදා පෝලිමේ හිඳ මිලට ගත් අරක්කු බෝතලය හිස්කරමින්, බුදුදහම ගැන තර්ක කරනා සැදැහැවතුන් සිටින රටක මේවා වන හෙයිනි. ක්ලබ් එකකට රිංගා කෙල්ලකුගේ බ්ලව්ස් එකතුලින් අතදමනාගමන් කාන්තා විමුක්තිය, දේශප්‍රේමය වැනි බරසාර මාතෘකා කථාකරන හෙළයන් පෙරමුණ ගත් රටක මේවා වන හෙයිනි.


.

Wednesday, July 14, 2010

ඔවුන් විකුණන්නේ මෙවැන්නන්ය........

අප බහතෝරන වියේදී ඇරඹී, වසර තිහකට වඩා කල් පැවතී, නිමා දුටු යුද්ධය විය යුතු පරිදිම බොහෝ කථා හා අතුරුකථා ශේෂ කලේය. යුද්ධය පුරා මෙන්ම යුද්ධයෙන් පසුද හපන්කම් මෝඩකම් හා පුරසාරම් ඉවරයක් නොමැත.
මේ සටහන මගේ ඇසට කඳුලක් එක් කලේය.  අපේ කාලකන්ණින් විකුණන් කන්නේ මෙබඳු කැපකිරීම්ය ( සිද්ධිය පිළිබඳ බොහෝ විග්‍රහ තිබිය හැකි නමුත් මට අනුව මෙබඳු සිදුවීම් ඇත්තේ අතලොස්සකි. ඉන් එකක් නම් සරත් පොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රැකවලට ගිය සෙබලාගේ ක්‍රියාවයි).

ස්තූතිය: මධුරංග - දියකැටපහණ


Monday, July 12, 2010

සියළුම දේශප්‍රේමීන් වෙත.....

වෙනත් සටහනක් තැබීමට අදහස් කොටගෙන සිටිමුත් මේ වීඩියෝව නිසා ඇතිවූ සංවේගයෙන් මෙම සටහන තබමි. බ්ලොග් අඩවියේ සියළු දේශප්‍රේමීනි, මේ පිලිබඳව ඔබ කියන්නේ කුමක්ද?




Saturday, July 10, 2010

සීන් එක ඉවරය.....



විමල්ගේ දේශප්‍රේමීනි.... 
හපාගෙන සිටි එකෙන් ඇඬීමට කාලයයි.........
(අපි නම් ඒකෙන් සිනාසෙන්නෙමු).
 

පිංතූරය: http://www.soberinanightclub.com/2009/07/you-made-my-ass-laugh.html

ලංකාවේ මීලඟ ගිනස් වාර්තාව.......

විමල් වීරවංශ ​මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීලඟ ගිනස් වාර්තාව තැබීමට සූදානම් වෙමින් සිටී. ඇතැම් විට එය වාර්තා කිහිපයක්ද වීමට ඉඩ ඇත.

ඒවා අතර වැඩිම කාලයක් ජීවත්වූ (දෙන සේලයින් විස වුනේ නැතිනම් හෝ ස්ටේජ් එක කඩා නොවැටුනේ නම්) මාරාන්තික උපවාස කරුවා, මාරාන්තික උපවාසයක්  (fast unto death) අරඹා දින 10කට පසුත් දිනකට දෙවරක්වත් වැසිකිලි ගිය උපවාසකරුවා වැනි වාර්තා අනිවාර්යයෙන්ම පිහිටවෙනු ඇත.

එහෙයින් මා බෑන් කී මූං ඇතුළු විජාතික බලවේගයන්ටත් උන්ගේ බත්බැලයන් වන දේශීය නියෝජිතයන්ටත් කියන්නේ... මේ උපවාසය නම් නතර කිරීමට වෙර නොදරන මෙන්ය. විමල්ට එයාගේ පාඩුවේ වැඩේ කරගන්නට දෙන මෙන්ය.

Friday, July 9, 2010

හැකි ඉක්මනින් පානය (ජලය) කල යුතුය.....

සාමාන්‍යය අත්දැකීම අනුව පෙරදා රෑ කුදාර් වෙන්න ගැසූවෙකුට පසුදා යථා තත්වයට පත්වීම සඳහා කලයුතු ප්‍රධාන කාර්යයක් වන්නේ හැකි තරම් ජලය පානය කිරීමයි. එසේ නොවන විට ඇස් තඩිස්සිවීම, කථා කිරීමට අපහසු බව, ඇඟපත අප්‍රාණිකත්වය (වැතිර සිටීමටම සිතෙන), දැඩි හිසරදය (පෙත්තක් බී සමනය නොවන, හිස දෙපස ප්ලාස්ටර් ඈලවීමටම සිදුවන) වැනි අපහසුතා ඇතිවේ. මෙම තත්වය විශේෂයෙන්ම රම්, වොඩ්කා වැනි සුදු ස්ප්‍රීතු වර්ග හා විස්කි, බ්‍රැන්ඩි වැනි අධි සාන්ද්‍ර මධ්‍යසාර බී විට වැඩියෙන් දැනේ. එය වකුගඩු වලටද හානිකරය. එහෙයින් එවැන්නකු හැකි ඉක්මනින් ජලය පානය කල යුතුය.


ප.ලි: මෙම සටහන හා රට වෙනුවෙන් මහා සද්කාර්යයකට උරදී සිටින (පිරිත් දේශනා මැද) විමල් මැතිඳා හට දුන් ​වෛද්‍ය උපදෙස් පටලා නොගත යුතුය. උපවාසය අරඹා පැය 12ක් යෑමට මත්තෙන් හැකි ඉක්මනින් ජලය පානය කලයුතුයැයි පවුලේ ​වෛද්‍ය කීවේ, එතුමන්ගේ ශරීර සෞඛ්‍යය මීට පෙර රට වෙනුවෙන් වෙඩි කා, බෝම්බ වැදී අසරණව ඈති හෙයිනි.

ඊ.ප.ලි: කෙසේ වෙතත් එතුමාගේ දියණිය එතුමාට උම්මා දෙන අවස්ථාව ( විශේෂයෙන් දෙවෙනි වර, කවුදෝ කියූ නිසා පොටෝ මාමලා වෙනුවෙන්) හා එතුමාගේ ප්‍රිය බිරිඳ ඩලස් ඇමතිතුමා හා නික්ම යන අවස්ථාව ඉතා සංවේදී වූ බවද කිව යුතුය.

Wednesday, July 7, 2010

අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි.

Tuesday, July 6, 2010

ලංකාවේ ගැටළුව...... යුතු දේ නිසි වයසට කිරීමට නොදීම

කලකට පෙර අපි සමීක්ෂණයක් කලෙමු. ඒ බොන්න හිඳගත් වේලේ සිටම කරත්ත ෂොට් දමාගෙන අවසන කබරයන් දහ පහලොස් දෙනෙකුද දමා සියළුආතල්වනසන වීර බේබද්දන් පිලිබඳවය. සමීක්ෂණ ප්‍රතිඵල අනුව මෙලෙස බොන්නන් එක්කෝ ඊයේ පෙරේදා රහමෙර කට ගෑවුන්ය.නැතිනම් ප්‍රමාද වී වැඩ ඇල්ලූ උන්ය. එසේත් නැතිනම් ලව් කරන කාලයේ කෙල්ල වෙනුවෙන් පූජාකල ඇරියස් අල්ලන උන්ය. එකී මෙකී සියළු හේතූන් ලඝු කොට ගත්කල පොදු සාධකය වූයේ මොවුන් කිසියම් හේතුවක් නිසා අතපසු වූ බීමක් පිරිමැසීමට මෙලෙස හැසිරෙන බවයි.

මේ සිද්ධිය සමාජයට ගත් කල සමාජයේද බහුතරයක් සිදුවන්නේ මෙයමයැයි හැඟේ. නිසි වයසට කෙල්ලක් සෙට් කරගැනීමට නොහැකි වූ උන් දකින දකින පස්ස මිරිකති. වේලි වේලී හිඳ බලය අතට ආපසු කෙසේ හෝ නිලියකට කෙලීම සිය එකම අරමූණ කොට ගනිති. දහදුක් විඳ, දේශපාලන බලවතකුට වාල්කම් කොට කුමක් හෝ තනතුරක් ලබාගත්දා සිට මඩිය තරකරගැනීම එකම අරමුණ කොට ගනිති. කුඩාකල සැතපුම් ගණන් පයින් ගිය හිලව්වට අඩිපාරවල පැජරෝ දක්කාගෙන යෑමට වලිකති.

මේ පිලිබඳව හොඳ සාක්ෂියක් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ අද පෙන්වූයේය. ඒ මීට පෙර ඔහු විසින් සීගිරි දඹුලු යෑමට බැරිවීමේ හිලව්වට ලොවවටා සවාරි ගැසීම වැනි ක්‍රියාවලට එහා යන්නකි. ඔහු සහ ඔහුගේ දේශප්‍රේමී බත්බැලයන් ( තේරුම විමල්ගෙන්ම අසා ගන්න) අද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට කඩා පැන්නෝය. බෑන් කී මුන්ට අම්මා මුත්තා නැතුව සිංහලෙන් ( දේශප්‍රේමයේ මහිම - සිංහල විතරයි) බැන්නෝය. අවසන මාරාන්තික උපවාසයක් ( රෑට කන බොන) ඇරඹූහ.

මේ ගැන බොහෝ විග්‍රහ විමර්ශන තිබිය හැක. නමුත් මට අනුව නම් විමල් මේ පිරිමසන්නේ තමන්ට විශ්ව විද්‍යාලයක අඛන්ඩ උපවාසයක් කිරීමට නොලැබීමේ ඇරියස් කවර් කිරීමයි. ඒ නිසා මෙම සිද්ධියට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විමල් තරුණයකුව සිටි අවධියේ එම වරම ඔහුට අහිමිකල උන්ටය. එසේ නොමැතිව මෙය ඔහුගේ ගොන්කම හෝ කපටිකම නොවේ.

එහෙයින් යටහත් පුරවැසියන් වන අප සියල්ලෝ අපේ දරුවන්ට යහපත් හෙටක් පතන්නේ නම් ( අපට ​එවැන්නක් පෙනෙන මානයකවත් නැති නිසා) කල යුතු වැදගත්ම කාර්යය වන්නේ අනාගත දේශපාලන අංකුර හඳුනාගෙන ඔවුනට මිහිපිට ඇති සියළු ආතල් විඳීමට ඉඩ හැරීමය. එවිට ඇරියස් කවර් කිරීම වෙනුවට දේශපාලනය කිරීමට ඔවුන්වත් පෙළඹෙනු ඇත.