Friday, August 13, 2010

දෙවියන් එහෙමය..... තෙරුම් ගන්ට අමාරුය..... පරෙස්සම් වෙන්න ඕනෑය........






අයියා..... මැරවියව අස්කොරලලු නේද?
( ආඩම්බරයෙන් ඇස් මඳක් නටවමින්) හික් හික් දැක්කනේ මල්ලි. අපේතුමා හරිම සාධාරණයි. තමන්ගෙ බලු කුක්කටවත් ජනතාව පෙලන්න දෙන්නෙ නෑ. ඔයාල මොනා කිව්වත් රජතුමා තමයි මහා සම්මත රජ්ජුරුවන්ට පස්සෙ බිහිවුණු සාධාරණම රජතුමා. අනේ වාසනාවන්.
ඒත් අයියා අර එක පාරක් මැරවින්ගෙ පුතා කාටදො ගහපු වෙලාවෙ, ඇන්ට්‍රිය ලියාගත්තැයි කියල ඕ අයි සීට කුණුහරුපෙන් බැනල, මිනිහව මාරු කරල දැම්මෙත් මෙතුමම නේද?
( මඳක් කෝපවෙමින්) ඉතින් හරිනෙ මල්ලි. පොලීසියෙ උන් මොකටද නීතිය අතට ගන්න ගියෙ. උන්ට තියෙන්නෙ කියන වැඩේ කරල බටා එක අරන් ගෙදර යන්නනෙ. අනිත් එක රජතුමා ගන්න ඕන තීරණයක්නෙ ඌ අරන් තියෙන්නෙ. ඔය ඕ අයි සී කාරය හරි මිනිහෙක් නම් මිනිහට තිබුණ අපෙ උඩු රැවුල් යුව රජතුමාට කථා කරල නීතිය කරන හැටි ගැන උපදෙස් ගන්න. මෝඩ හරක් මල්ලි.

අයියා එතකොට කේ. පී. ?
( වටපිට බලමින්, හඬ පාත්කර) ෂ්...ෂ්...ෂ්... පිස්සුද මල්ලි. එහෙම කෙනෙක් දැන් නෑනෙ. දැන් ඉන්නෙ පත්මනාදන් මැතිතුමා. ඔයා ඔහොම කියල වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
( ශ්‍රද්ධාවෙන්, බණ කියන සුදු සාදු කෙනෙකුගේ සෙයියාවෙන්) එතුම ඔය නොදන්න කමට පොඩි පොඩි වැරදි ටිකක් කොරල තියෙනව තමයි. අනිත් එක එතුම මොනතරම් ආයුධ මිලට අරන් දුන්නත් එක වෙඩිල්ලක් තියල නෑනෙ. ඉතින් එතුම පව් කොරල නෑ. 
 ඉතින් අයිය එතකොට අර ද්වාරකා ළමය?
 ( අවඥාවෙන්) චැහ්... මල්ලිටත් තියෙන්නෙ බොහොම පහත් රසඥතාවයක්නෙ. වැඩක් නෑ මල්ලි. අතේ සතෙයක් නැති උන්. අඩු තරමින් නෑයෙක්වත් පිටරට යවල තියපං. මොන....! අල්ලල දාන්ඩ මල්ලි. මහ අපරාධකාරියක්.

අයිය ඊයෙ ගාල්ලෙ මාර සීන් එක නේද? පෙලපාලි ගියා කියල කට්ටියට ගහල. හිරෙත් දාලලු නේද?
( දැඩි කෝපයෙන්) ඇත්තනෙ. දේශද්‍රෝහී පරයො! උන් ටිකත් අරුත් එක්කම එල්ලන්නයි වටින්නෙ.  (මඳක් සංසුන්ව) අනිත් එක අන්න සාධාරණ පොලිස්කාරයො, නීතිය කැඩෙන්නෙ කොතනද, දෙක තුනක් ඇනල නීතිය කියල දෙනව. පොලිසිය තියෙන්නෙ නීතිය රකින්නනෙ මල්ලි. අපේ රජතුමාට ඔය හැම එකටම මැදිහත් වෙන්න පුළුවනෑ.
එතකොට අයියෙ උපවාසවංශගෙ දෙක හමාරෙ එක වෙලාවෙ කට්ටියම කිව්වෙ " මේකෙ සාධාරණ විරෝධතාවලට ඉඩ තියෙන රටක්ය" කියල?
(සාවධානව. ගැඹුරු ස්වරයෙන්) එහෙම තමයි මල්ලි. සාධාරණේ අසාධාරණේ, යුක්තිය අයුක්තිය වගේ දේවල් තීරණය කරන්න මල්ලි කවුද මං කවුද? ඒවා ඒ උත්තමයො බලාගනීවි. දෙවිවරු වගේ කට්ටියනෙ මල්ලි. තේරුම් ගන්න අමාරුයි. 
දැන් දෙයියන්ගෙ පිහිටෙන් අපිට තියෙන්නෙ, අල්ලපු ගෙදර එකාගෙ ඇට මිරිකල හරි කීයක් හරි හොයාගෙන ජීවත්වෙන්න.

ඒත් අයියෙ ඔය දෙවිවරු හැදුවෙ අපි ඔයාලමනෙ?
( අමතරෙන් මවාගත් රාජපක්ෂ ටයිප් සිනාවක් සමඟ) 
මල්ලි අහල තියෙනවද මල්ලි එක්නැලිගොඩ කියල හාදයෙක් ගැන?
ඡායාරූපය: http://www.aforismario.it/ateosofia/elenco-divinita.htm

Monday, August 9, 2010

මේ රජයේ දූරදර්ශී ක්‍රියාපිලිවෙල මට මඟ පෙන්වූවා.... සක්විති රණසිංහ

විදේශ ඒජන්තයන්ගේ කුමන්ත්‍රණ හා දේශද්‍රෝහී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විසින් නොමඟ යැවුණු, ඒ හේතුවෙන්ම සිය රටද අතහැර දැමීමට තරම් අවාසනාවන්ත වූ තමන් මේ රජයේ යහපත් හා දූර දර්ශීක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් ඇතිවූ හෙයින් යලි මෙරටට පැමිණි බව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා: " ඇත්තටම ජනාධිපතිතුමා වරක් පැවසූ පරිදිම මේ රට දැන් අපිට සතුටින් ආපසු පැමිණිය හැකි තැනක් බවට පත්වෙලා ඉවරයි. ඒ බවට කුමරන් පද්මනාදන් (K.P.) මහතා, මා හා ඉදිරියේදී අපත් සමඟ එකතු වීමට සූදානම්ව සිටින රුද්‍රකුමාරන් වැනි අයගේ ආගමනයන් හොඳ උදාහරණ වෙනවා" 

" මං ජනාධිපතිතුමාව විශ්වාසකරන් හිටියත් මාව ආරක්ෂක ලේකම් තුමා ලඟට මුලින්ම එක්කන් ගිය නිසා මට තරමක බයක් දැනුණා. නමුත් ඒ නිවසට ඇතුල්වනවිටම තිබූ බුදු පිළිමය දුටුවිට මගේ සියළු බය මා ලඟ ආයෝජනය කල අයගේ මුදල් මෙන් නැතිවී ගියා" සක්විති මහතා එසේ කියන විට එතුමන්ගේ මුහුණේ ඇඳී තිබුණු පහන් සංවේගය අපට කථා දහසක් කියා පෑවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, " කවුද කියන්නෙ සක්විති මැතිතුමාව අත් අඩංගුවට ගත්තා කියලා? එතුමා අප පිළිබඳව විශ්වාසයෙන් ඇවිත් තමන් විසින්ම අත්අඩංගුවට පත්වුණා. ඒක එහෙම වුනේනැහැ කියල කවුරුහරි කියනවනම් මම දැන් මේ ඇමති දුරයෙන් අස්වෙන්න සූදානම්" යනුවෙන් විවෘත අභියෝගයක්ද කලේය.

මීට අමතරව රජයේ උසස් ප්‍රධානීන් කිහිප පොලක් හා කෙරුණු සංවේදී සාකච්ඡා කිහිපයකට පසු සක්විති මැතිතුමා සිය දක්ෂතාවයන් රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවීමට අපේක්ෂා කරන බවද, එතුමා මෙන්ම සිය දැනුම හා බුද්ධිය රටේ දියුණුව හා අභිවෘද්ධිය සඳහා යෙදවීමට සතුටු පිටරටවල වෙසෙන වරෙන්තුකාර බුද්ධිමතුන් රාශියක් මේ වනවිට රජය හා එක්වීමට සූදානමින් සිටින බවද, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පිරිත් නූල් දෙකක් ( එකක් කේ.පී මහතාගේ ගැටගැසීමට නොහැකි වූ එකය) ගැටගැසීම හා ගුණදාස අමරසේකර මහතා සිය නවකථාවල චරිත ඇසුරින් සක්විති මහතාගේ සාර්ථකත්වයේ ගමන ගැන කල විග්‍රහය කාගේත් ඇසට තුටු කඳුළු නැංවූ අවස්ථා විණි.


 ප.ලි.: 
" එතකොට සරත් ෆොන්සේකාව ඔය විදිහටම රටේ අභිවෘද්ධියට යොදාගන්න බැරිද? "
 " කවුද සරත් ෆොන්සේකා?" ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවී සිටි සියළු මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය ඇසූ පොඩි එකාගෙන් එකවරම ඇසූහ. 

Wednesday, August 4, 2010

මොනව ලියන්නද මීට වඩා.........






මේ රූපයේ සිහිකැඳවීම තමන් විසින් රැක තමන් විසින්ම පරමත්වයට පත්කල අධිකාරියේ සිරබත් කන සරත් ෆොන්සේකාට හෝ තමන්ම රෝහණ ජනරංජන පදවි දුන් මහරජුට බියෙන් සංඝසභාව අකුලාගත් මහනායක හිමිවරුන්ට හෝ කෙලතොල්ලකුගේ මාධ්‍ය සංදර්ශන වලට පක්ෂය බිලිකල ජවිපෙට හෝ සියත මාධ්‍ය (????) ජාලයට හෝ ඊයේ පෙරේදා පදික වෙළදාම අහිමිව ගිය පොදු පෙරමුණු චන්දදායකයින්ට හෝ චන්දයේදී තමා වියදම් කල එකාගේම අණින් දින කිහිපයක බිස්නස් නැතිකරගත් කිරිබත්ගොඩ බාර් හිමියන්ට හෝ ඊයේ ගස් බැඳුනු හා හෙට ගුටිකන සමෘද්ධිනියාමකයින්ට හෝ හෙට අනිද්දා උන් හිටි තැන් අහිමිව යන කැළණියේ මඟ දෙපස වෙසෙන්නන් ඇතුළු ඕල්රෙඩි කෙලවාගත් අටෝරාසියක් උන්ට නොව;

ආච්චිගේ තර්ක ඉදිරිපත් කරමින් හා අපෝ අපිට නෙවෙයිනෙ සිතමින් තාමත් හුරේ දමන අමනයින්ටය.​


ප.ලි: මා හට අවශ්‍ය වූයේ සිනාසෙන මිනිසෙකුගේ රූපයකි. නමුත් එවැන්නක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් මේ මිනිසා ඉතා සතුට්න් වහසි බස් දොඩමින් පැලයට වතුර දමන්නේ යැයි සිතා රූපය බැලිය යුතුය.

ඡායාරූපය: www.j4jokes.com