Tuesday, March 9, 2010

මැන්ගනීස් ඩයොක්සයිඩ් හා පොටෑසියම් පර්මැන්ගනේට්...

අප රසායනාගාරයේදී ඔක්සිජන් තැනීම පිලිබද ඉගෙනගත්තේ අට හෝ නවය වසරේදීය. ඒ සදහා යොදාගත් ක්‍රම කිහිපය අතුරින් තවමත් මා සිත රැදී ඇත්තේ පොටෑසියම් පර්මැන්ගනේට් හා මැන්ගනීස් ඩයොක්සයිඩ් එකට රත්කර ඔක්සිජන් තැනීමය.මා ජීවිතයේ වඩාත්ම ඇලුම්කරන සහ භාවිතාකරන වචනයක් වන "උත්ප්‍රේරකය" යන්න ඉගෙනගත්තේද මෙම පරීක්ෂණය කරද්දීය.
බොහෝවිට මීට හේතුව වන්නට ඇත්තේ මේ රසායනිකයන් දෙකෙහි සුවිශේෂී ගුණාන්ගයි. පොටෑසියම් පර්මැන්ගනේට් වලට තනිව ඔක්සිජන් නිපැයීම පහසුවෙන් කල නොහැක. ඒ සදහා අධික ශක්තියක් ඇවැසි වේ. මැන්ගනීස් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් ලබාගැනීමක් ගැන කිසිදා කථා කරනු මා අසා නැත. නමුත් මේ දෙක එක් කලවිට සාමාන්‍යය පරීක්ෂණාගාර තත්ව යටතේ ඔක්සිජන් නිපදවිය හැක!

මාගේ මීට පෙර ලිපියේදී විපක්ෂය දෙකට බෙදී තරගකිරීම පිලිබදව මාගේ අප්‍රසාදය පල කලෙමි.
මේ මොහොත වන විටද එම අප්‍රසාදය එලෙසම පවතී.  වෙන්ව තරග කිරීමට ගත්තා වූ තීරණය හශාන් කියූ පරිදි උපක්‍රමික වෙනස් වීමක් හෝ ටැබූ කියූ පරිදි සිනර්ජියක් ( 1+1>2) නැතිවීම නිසා වූවකැයි පිලිගැනීමට මා මැලි වන්නේ, මහ මැතිවරණය තනි ඌරකුගේ මඩවලක් කරගැනීමට ඉඩ සාදාදුන්නේ මෙම වෙන්වීම නිසා බව විශ්වාස කරන හෙයිනි.

මම ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි බලාපොරොත්තු දල්වා සිටියෙමි. ඒ මේ දේශපාලනය තුල තවදුරටත් සුපිරිසිදු යූ.එන්.පි යක් හෝ ජේ.වී.පියක් නොමැති යථාර්තයක් තුල දේශපාලනය යනු පක්ෂයක් බදාගෙන පක්ෂයක ඉහල මට්ටමේ ඔලුගෙඩි ගන්නා ඕනෑම තීරණයක් හරියැයි කියන අදේශපාලනික තැනක සිට පොදු අරමුණක් වෙනුවෙන් පක්ෂ අමතක කර දමා ඉදිරියට ඒමේ ශක්‍යතාවක් සහිත චලනයක් ඒ තුලින් විද්‍යාමාන වූ හෙයිනි. එය තාවකාලික මැතිවරණ පරාජයක් සදහා හේතු විය හැකි වුවද දීර්ඝකාලීන යහපත් දේශපාලන සන්ස්කෘතියක පාදම වියහැකිව තිබූ හෙයිනි. ඒ සිහිනයට වෙඩි වැදී ඇත. හන්සයන් කිරි සෙවූ බිම අලින් හා කුසලානයන් දෙකට බෙදාගෙන ඇත. කොරුන් සහ අන්ධයන් වෙන් වෙන්ව ගොලායත්ට එරෙහිව සටනට බැස ඇත.

සත්‍යයකි. ජනාධිපතිවරණයේදී තිබූ ගැම්ම රජයේ මර්දනය විසින් හා ජනාධිපතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිපලය විසින් බාලකොට ඇත්තේය. නමුත් එයම සැබෑ හේතුව වන්නේද? මේ වෙන්වීම මගින් සිදුකොට ඇත්තේ මැන්ගනීස් ඩයොක්සයිඩ් නිකන්ම කලුපැහැ කුඩක් ලෙසත් පොටෑසියම් පර්මැන්ගනේට් තම වියෝජනයට ඇවැසි ශක්තිය නැතිවගිය රසායනයක් ලෙසටත් අසරණව සිටිද්දී ඔක්සිජන් වෙනුවට ඇමෝනියා නිශ්පාදනය කරන ගෝ මූත්‍රා බදුනක් ලාන්කීය දේශපාලන තෙපාව මත රැගුම් පෑම නොවන්නේද?

6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. අප්පට සිරි. මම හිතුවෙ විද්‍යාව ගැන මොනා හරි කියන්න යනව කියල. :(

    ReplyDelete
  3. ඇට මැස්සා,

    ඔබේ මාතෘකාව ඇත්තටම හිත් ඇදගන්නා සුළුය. ඔබේ ශෛල්‍යයට අපි ඉතාමත් ප‍්‍රියයි.

    අපි කොලේ වහලා ගහන්නැතුව කතා කළොත් (අපි කොහේවත් එහෙම කරලා නෑ. නමුත් ගොඩක් දෙනෙක් එහෙම කතා කරන නිසා) ඇත්තම කතාව මේ මැතිවරණයේ වැඩි වාසිය තියෙන්නේ ආණ්ඩුවට. එ්කනේ දැං සටන ජයග‍්‍රහණය උදෙසා නොවී තුනෙන් දෙකක් සඳහා හැරවිලා තියෙන්නේ. මේකට මූලිකම හේතුව විපක්ෂය බෙදීම කියලා කවුරුහරි කිව්වොත් අපි එ්කට විරුද්ධ වෙනවා. මොකද විපක්ෂය එකතු වෙලා ඉල්ලූවත් මේ වෙලාවේ ජනාධිපතිවරණ පරාජයත් සමග කොහොමත් විපක්ෂයේ මොරාල් මේ තත්වෙටම බහිනවා. අපි ප‍්‍රායෝගික දේශපාලන චලනයන් දෙසත් බලමුකෝ. ඇත්තටම මේ ජනාධිපතිවරණේ ¥ෂණ වුණා කියලා විපක්ෂය කිව්වනේ. නමුත් ඇත්තම කතාව මෑතදී තිබ්බ සාමකාමීම මැතිවරණය මේක. නමුත් එහෙම කිව්වහම එයාලට පරදින්න හේතු දක්වන්න වෙන්නේ නෑ. එ් නිසා එ්ක උපක‍්‍රමයක් විතරයි. නමුත් එ් උපක‍්‍රම හොඳයි පාක්ෂිකයොන්ට කියන්න. එ්ත් ඇත්තටම නම් විපක්ෂය සැබෑ හේතු හොයලා එ්වට පිළියම් හදාගන්න එපැයි. එ්ත් මේ බොරුවෙම එල්ලිලා හිටියාම විපක්ෂයමයි රැවටෙන්නේ.

    අපි තව ටිකක් එහාට ගිහිං කතා කරමුකෝ. දැං විපක්ෂයට මැතිවරණය තුළ දැවැන්ත රෝල් එකක් නෑ. මේ තත්වය තුළ විපක්ෂය බෙදුනට පස්සේ තියෙන රෝල් එකත් නැතිවෙනවා. එතකොට ආණ්ඩුව ඇතුලේ මනාප වලට මරාගැනීම ඉස්සිලා පේනවා. මේක ආණ්ඩුවට හොඳ නෑ. අනික් පැත්තට පාර්ලිමේන්තු ගියත් අතිබහුතරයකට ඇමතිකම් නෑ. මේ තත්වය තුළ බලය ගත්තත් බලය රඳව ගන්න ලේසි වෙන්නෑ. එ් වගේම ව්‍යවස්ථාවේදී කතාවත් ලේසි නෑ. මොකද ඉන්දියාව බල කරනවා බලය බෙදන්න. එ් නිසා මේ ව්‍යවස්ථාව බොහෝ විට ෆෙඩරල් එකක් වෙනවාමයි. එ්ත් විමල් ඩලස් චම්පිකට සිද්ධ වෙනවා එ්ක එහෙම නෑ කියලා මහින්දගේ පැත්ත සුද්ධ කරන්න. එ් අනුව අඩව්වේ අපි සිතන්නේ මේක ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීමක් කියලායි. යුද්ධෙ ඉවර කරගත්තා වගේම බලය බෙදීමත් කරන්නේ මහින්දමයි. නමුත් මේ තත්වය තුළ ආණ්ඩුව කරගන්න බැරුව වැටුණහම විපක්ෂයට තියෙනවා චාන්ස් එකක්. එ් වෙලාවේ නිවැරදි තීරණය ගත්තේ නැත්තං තමයි ප‍්‍රශ්ණය වෙන්නේ.

    ReplyDelete
  4. හශාන්. ස්තූතියි, ඔබගේ දිරි ගැන්වීමට හා අදහස් වලට.

    මේ වෙන්ව යෑම නිසා හානියක් නොවුනා කියන තැනට මා එකග නැහැ. දෙපැත්තම කැප කිරීම් කල යුතුව තිබුනා. අඩු තරමින් තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ පොදුවේ තරග කල යුතුව තිබුනා ( උදා: කොළඹ ).

    ඒ වගේම සාමකාමී හැමදේම දූෂිත නැහැයි කියන්නත් බැහැ. නමුත් ඒ තත්වය මෙවරත් එලෙසෙම පවතින නිසා ( ඔබ ලියූ පරිදි ඌරන් මනාප තැලීම නිසා සිදුවන සාමය කඩවීමක් හැරුනු විට ) එක්වීම හෝ වෙන්වීම යන සාධකය මැතිවරණයේ ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. එතැනදී වෙන්වීම ධනාත්මකව බලපෑමක් ඇතිකිරීමටද හැකි බව ( වැඩි චන්දපොල නියෝජිතයන් පිරිසක්, වැඩි ගණන් කිරීමේ නිරීක්ෂකයන් පිරිසක්) මා පිලි ගන්නවා.

    නමුත් මේ වෙන්වීම නිසා (එක සාධකයක් පමණි ) මොරාල් බැසීමක් සිදු නොවුනේ නැහැ. හන්සයා දෙකඩ වී අලියා සහ කුසලානය ඇතිවීම මට අනුව නම් පාඩුවක්. මේ මැතිවරණ ව්‍යාපාරයේ ඇල්මැරුනු ස්වභාවයට එක් හේතුවක් වන්නේද ජවිපෙ බිම් මට්ටමේ කැපවීම හා එජාපෙ දැවැන්ත බව එක්ව නොයෑම බවයි මාගේ හැගීම.

    එමෙන්ම මේ තුලින් ආන්ඩු විරෝධී චන්ද දෙකඩ වීමක්ද සිදුවෙනවා. එමගින් විපක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයක් ජය ගැනීමට ඇත්තේ අවම ඉඩක්. එමගින් සිදුවන ප්‍රධානම අවාසිය වන්නේ ප්‍රසාද ආසන වලින්ද බහුතරයක් පොදු පෙරමුණට ලැබීමයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර වලටද මෙය පොදුයි.

    මනාප වලට මරාගැනීම ඉස්මතුවීම තුලින් විපක්ෂයේ චන්ද වැඩිවේවි කියා මා හිතන්නේ නැහැ. ලන්කාවේ බහුතරයක් එවැනි සාධකයක් නිසා තම පක්ෂය වෙනස් කිරීමට සූදානම් නැහැ.
    අතිබහුතරයකට ඇමතිකම් නැහැ කියන එකත් මේ වෙලාවෙ චන්ද පොරොන්දුවක් විතරයි. අනිත් දේ වරප්‍රසාද නැහැ කියලා මේ ආන්ඩුවෙන් ඉවත් වෙන්න තරම් කිසිම කෙනෙක් බය නැතිවෙයි ( බය නැතිවීමට තරම් පිරිසිදුයි ) කියා මා සිතන්නේත් නැහැ.

    විමල්, ඩලස් හා චම්පික බලය බෙදීමකදී තීරණාත්මක විවේචකයන් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තම සුපුරුදු කොලය වසා ගැහීම තුලින් බලය බෙදීම යනු දේශප්‍රේමයේ උත්තරීතර සුරතාන්තය බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරනු ඇති.

    එමෙන්ම බලය බෙදීම තවත් අතකින් රාජපක්ෂ රෙජීමයේද අවශ්‍යතාවක් වනවා. මන්ද බෙදී ගිය කොටස් වල පාලනය ලබාදීම මගින් තෘප්ත කලයුතු නෑ දෑ හා මිත්‍ර පරපුරක් ඔවුන් සතු නිසා. එසේ නොවුනහොත් ඔවුන්ගේ විනාශය ඔවුන් තුලින්ම මතුවීමේ අවදානමක් ඇති නිසා.

    ඇතිවන තත්වය මගින් රට මුහුන දෙනු ඇත්තේ ඉතා ග්‍රාම්‍ය පාලන හා සමාජ ක්‍රමයකටයි.
    ඊට මුහුන දීම සදහා මේ සී සී කඩව යන සිවිල් සමාජය වඩා විනයානුකූලව එක් විය යුතුයි. පක්ෂ දේශපාලන වේදිකාව පොදු, විවෘත, කැපකිරීම් බහුල තැනක් විය යුතුයි. නමුත් මා මේ බෙදීයෑම තුල එවැන්නකට හානි වන දේ හැර එවැන්නක් කුලුගන්වන චලනයක් දකින්නේ නැහැ. උදාහරණයකට ලන්කා ටෲත් හා ඉරුදින බලන්න.

    ReplyDelete
  5. පොටෑසියම් පර්මැංගනේට් උදාහරණෙ එක දේකට නම් මැච් වෙනවා. බේ බ්ලොග් එකේ දේශපාලන අදහස් වගේම ඒකත් විකාරයක්.

    http://www.ucc.ie/academic/chem/dolchem/html/elem/elem008.html

    ඔක්සිජන් ගන්න පොටෑසියම් පර්මැංගනේට් රත් කරන්න උත්ප්‍රේරක ඕනෙ නැහැ. මැංගනීස් ඩයොක්සයිඩ් කියන්නෙ ඒ ප්‍රතික්‍රියාවෙ අතුරු පලයක්. සිත රැඳී ඇති දේවල් ඔහොම නම් අද්‍යාපනේ ඉතුරු හරිය කොහොම ඇත්ද.

    ReplyDelete
  6. Hornet. ස්තූතියි නිවැරදි කිරීමට ( රසායන විද්‍යා කොටස ). ඔබ හරි, ඒ පොටෑසියම් පර්මැන්ගනේට් නෙවෙයි, පොටෑසියම් ක්ලෝරේට් (KClO3) විය යුතුයි.

    ReplyDelete