Wednesday, September 8, 2010

හෙට අළුත් ඉරක් පායයි........!!!!



ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට අද දිනය එනම් 2010 සැප්තැම්බර්08 දා අතිශය වැදගත් දිනයක් වන්නේය. ඒ යෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත දිනය එදා වන හෙයිනි.

මෙම සිද්ධිය සතියේ මාතෘකාව බවට පත්වී ඇති අතර උපවාසවංශ හා ඔහුගේ බත්බැලයන් නොකඩවා දොඩමින් සිටින්නේ මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට දෙපාරක් පමණක් දීම මඳ බවත් ඔහුට ඇති තරම් දීමට අස්ථාව උදාකරගතයුතු බවත්ය. ( ඇතැම්විට මෙය උපවාසවංශගේ ප්‍රීය බිරියගේ අදහසක් වන්නටද පුළුවන).

එමෙන්ම බ්ලොග් අවකාශය පුරාද සහෘද බ්ලොග් කරුවන්ගේ කලකිරීම, විරෝධය හා පශ්චාත්තාපය දැක්වෙන සටහන් පෙලක් කියවන්නට තිබිණි. සත්තකින්ම ඔවුන් ලියූවාට වඩා වෙනස් දෙයක් මට කීමට නොතිබූ හෙයින්ද ( ඇතැමෙක් මට වඩා හොඳින් මගේ සිතිවිලි ලියා තිබූ හෙයින්ද), මේ මල ඉලව් රටේ දේශපාලනය ගැන කථා කිරීම, සංවාදයක් ඇතිකිරීමට යත්න දැරීම, වරක් පුලස්ති කීවාක් මෙන් ස්වයං
වින්දනය සම දෙයක් මිස වෙනකක් නොවෙතැයි යන හැඟීමෙන් උකටලීව සතිකිහිපයක් ගෙවීගියද, එහෙට මෙහෙට පනින උන්ගේ වදන්, ජාතික හා අයි.ටී.එන් පුරා ගලනා ලොරිටෝක් හා කඩයෙන් ණයට පාන් රාත්තල ගන්නට පෝලිමේ ඉන්නා චන්ද දායකයන්ගේ කථා ආදියෙන් ලද දිරි ගැන්වීම මත මේ සටහන ලියැවෙන්නේය.

මේ සංශෝධනය මඟින් කෙරෙණුයේ ජනාධිපතිවරයෙකුට සිය ධුරය සඳහා තේරීපත්වීමට හැකි වාර ගණන වැඩිකිරීමයි. නව සංශෝධනයට පක්ෂව අදහස් දක්වන්නවුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කරමින් රැක ගැනීමට යත්න දරන්නේත්, විරුද්ධව අදහස් දක්වන්නවුන් පරසක්වල ගසමින් වනසන්නට යත්න දරන්නේත් මෙම කාරණයයි. නමුත් මෙම හෙම්බිරිස්සාවට මුවාවී පැමිණෙන ඉතිරි වසංගත ඊට වඩා භයානක බවත් ඒ පිළිබඳව කථාකල යුතු බවත් අපට අමතකව යන්නේ අපගේ විරෝධය ජනාධිපති ධුරයේ වාර ගණන වටා ඕනෑවටත් වඩා ගොනුකරන හෙයිනි.උදාහරණයක් ලෙස දාහත්වන ව්‍යවස්ථා සංශෝධය අහෝසි වීම ගත හැක. එමගින් හානිවනුයේ රාජ්‍යසේවයේ ස්වාධීනත්වයයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඇතුළු රජය මෙම සංශෝධනය සම්මත කරගන්නා බවත්, එය ක්‍රියාවට නංවමින් තම බල පරාක්‍රමය තවතවත් පතුරන බවත්, තවදුරටත් නොවැලැක්විය හැකි සත්‍යයකි.

 මේ මොහොතේ බහුතරයක් ජනතාව කරමින් සිටින්නේ මහ රජාගේ කිට්ටුවන්තයකුගේ කිට්ටුවන්තයකු වන අයකුගේ නැන්දනියකගේ ආච්චි අම්මාගේ මල්ලීගේ පුතාගේ දුව බැඳපු එකාගේ කිට්ටුවන්තයකුගේ පිහිටෙන් අල්ලපු ගෙදර එකාගේ ඉඩමෙන් කොටසක් කඩා ගැනීමට යත්න දැරීමය, නැතහොත් එවැන්නෙකුට කියා දරුවකුට රැකියාවක් ලබා ගැනීමට හෝ දරුවා පාසලකට දමා ගැනීමට යත්න දැරීමය, එසේත් නැතහොත් තම මිතුරෙකුට රජයේ කොන්ත්‍රාත්තුවක් ලබාදී කොමිස් ලබාගැනීම වැනි ක්‍රියාවන්ය. ඉතිරි පිරිසද කරකියාගත හැකි කිසිවක් නැතිව බලාගත් අත බලාගෙන කටට වැටෙනා දේ බඩට දමා ගැනීම උදෙසාම ජීවත් වෙති.

ශ්‍රී ලාංකික සමාජයේ සියළු ආස්ථානයන් කුණුවෙමින් පවතින්නේය. මුළු ලංකාවම සුද්ධ කිරීමට අපහසු කුණුගොඩක්ව ඇත්තේය. එබඳු කුණුගොඩකට වැසිකිලි කාණුවක් හැරෙව්වා කියා සිදුවන මහා වෙනසක් නැත්තේය.

රාජ්‍ය සේවකයන් ගස් බැඳ පසුව එය වීදි නාට්‍යයක් යැයි කියමින් විහිළු සපයන රටක, ජනපති නියමයෙන් පත්වූවන් ඇමතිටත් වලංගු නැතිව ගිය රටක, බේබිගේ මිතුරෙකු නම් ඕනෑම තුප්පහි වැඩක් කර නීතියෙන් ගැලවී සිටිය හැකි රටක, නීතියේ මතු නොව මානව සදාචාරයේ සීමාවන්ද ඉක්මවමින් පලිගැනීමේ අමන ආයුධයක් බවට නීතිය පත්ව ඇති රටක, 17 වන සංශෝධනය අහෝසි වූවා කියා අමුතුවෙන් නැතිවෙන ලබ්බක් නැත.

නමුත් කුණුගොඩකට හැරවෙන වැසිකිලි කාණුවකින් එම කුණුගොඩෙහි දිරීම ඉක්මන් කරවයි.

එලෙසින්ම 18වන සංශෝධනය මඟින් මේ රට තවත් පහලට ගෙන යනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව තමන් රැවටී සිටින ගිනිකෙළි සංදර්ශනයෙන් මෑත්ව සිතීමට පෙළඹෙනු ඇත. එමඟින් නව ගමනක් උදෙසා අවකාශයක් තැනෙණු ඇත.

ඒ අවකාශයේදී / මාර්ගයේදී එකිනෙකාට ආදරය කිරීමට ( හැමනීමට නොවේ), ගරු කිරීමට (වැඳ වැටීමට නොවේ), අයිතිය පිළිගැනීමට (බිය වීමට නොවේ)හැකි මිනිසුන් පිරිසක් බිහිකරගත හැකිනම්, තමන් වෙනුවෙන් තමන් පත්කර යවන්නා තමාට අවංකවියයුතු බව නිර්භීතව පිළිගත හැකි මිනිසුන් පිරිසක් තනාගත හැකි නම්, මාටින් නිමොලර් පියතුමාගේ සඳහන / ලබ්බට තැබූ අත පුහුලටත් තැබිය හැකි බව දැන ඊට එරෙහිව යන මනස් උස්, ස්වාභිමානයෙන් යුතු ( පර පීඩා කාමුකත්වයෙන් නොවේ) ජනතාවකට තිඹිරිගෙය තැනිය හැකි නම්, අද පායන්නේ ඒ ලොව වෙනුවෙන් වූ හිරුය.

4 comments:

  1. හොද සටහනක්

    ReplyDelete
  2. බලාපොරොත්තු විරහිත වනවාට වඩා කුමන හෝ බලාපොරොත්තුවක් දල්වා ගැනීම වටී.
    එහෙත් ඔබගේ තර්කය ජනතාවකට මිස ඉහඳ පණුවනට අදාල වේද?

    ReplyDelete
  3. ඒක හරි ඕකට 'ජනතාව' හොයා ගන්නෙ කොහොමද?

    ReplyDelete
  4. @ Hasitha:
    ස්තූතියි

    @ charmi & Outsider:
    හිතුවද මට පිස්සු කියල මේ කොහෙවත් යන ජනතාවකට මේක ලියන්න. මං ලිව්වෙ ඔයාලට. ඉහඳ පණුවොටික රූපාන්තරණය වෙන්න මහ කාලයක් යන්නෙ නැතිවෙයි කියල හිතල. එදාට උන්ව මිනිස්සු කරන්න පෙරමුණ ගන්න කියල කියන්න.

    ReplyDelete