Friday, December 10, 2010

Julian Assange, ​සරත් ෆොන්සේකා, විමල් වීරවංශ තුමා, වාසුදේව තුමා, .... තුමා, ......,තුමා......,තුමා සහ අපි......



Julian Assange යනු සියළු දෙස් විදෙස් රාජ්‍ය (පවතින) විරෝධී සියල්ලන්ගේ අළුත්ම වීරයාය. එපමණක් නොව මීට සති කිහිපයකට පෙර දක්වා අපගේ සියළු දේශප්‍රේමීන්ගේ සුපිරි බුද්ධිමතාය ( එය ලංකාව පිළිබඳ වාර්තා කරන තෙක් පමණක් පැවතීම වෙනම කරුණකි).

Julian Assange  පහර ගැසීම ඇරඹුවේ ඇමෙරිකාවෙනි. අනතුරුව එය තවත් බොහෝ රටවල් දක්වා විහිදී ගියේය. ඉඳින් අපිද හුරේ දැම්මෙමු. ඔහුගේ භූමිකාව කුමක්ද එහි ඉදිරිය කුමක් විය හැකිද නොසිතාම අප ආශා කරන දෙය ඔහු අතින් කෙරෙද්දී මහන්සි නැතිව ආතල් ගැනීම කරමින් සිටියෙමු. විවේචනයක් නැතිව, විචාරයක් නැතිව ඔහුව උඩදමමින් ඔහු ඇමෙරිකාව දණ ගස්වනකම්, ඉන්පසු ලංකාවට සාධාරණය ගෙනෙනකම් බලා සිටියෙමු.

දැන් Julian Assange අත්අඩංගුවේය. ඇතැම් විට ඔහු නිදහස් වනු ඇත. නැතිනම් වැනසෙනු ඇත. නමුත් දැන් අපේ ආතල්එක ඇත්තේ මහා අනතුරකය. බොහෝවිට අපට Julian Assangeව අමතක කොට දමා වෙනත් ආතල් එකක් සොයාගැනීමට වනු ඇත.

මේ මෙවැන්නක් සිදුවූ පලමු වතාව නොවේ. අපි පරම්පරා ගණනාවක් පුරා වෙනකකු අප වෙනුවෙන් විමුක්තිය ගෙනෙනතුරු බලා සිටියෙමු.  

නමුත් අපේ ගැලවුම්කරුවන් සියල්ල එක්කෝ බලයේ අභියෝගය හමුවේ අප විසින්ම හුදකලාකොට දැමුවෙමු. නැතිනම් අප විසින්ම දේවත්වයට පත්කර අනතුරුව උන්ගේ කෝචෝක් බලමින් ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ව සිටියෙමු.

දැන් මට ප්‍රශ්න කිහිපයක් ඇත. අප අප වෙනුවෙන් සිතන්නේ කවදාද? තම ඉරණම තවෙකකුට බාරදීමෙන් තොරව ස්වාධීන වන්නේ කවදාද? අනෙකා කලදෙය හෝ කරන දෙය නොව තමන් දෙසට හැරී බලන්නේ කවදාද?

උත්තර කුමක් වුවත් එය පහසු නැතිබවත් ඒ වෙනුවෙන් කලයුතු කැපකිරීම හුරේ දමනවාට වඩා ගව් ගණනක් දුරින් තිබෙන්නක් බවත් පමණක් ලියා තබමි.


ඡායාරූපය:http://www.hboasia.com/family/movie/2657

ප.ලි.: හඳගමගේ විදූ අද ප්‍රදර්ශනය ඇරඹු බව මට මතක් වූයේ දැන්ය. මා තවම විදූ නරඹා නැත. නමුත් වීදූ කියන්නට හදන්නේද මෙවැන්නක් බව එහෙන් මෙහෙන් කියවීමි.


No comments:

Post a Comment