Wednesday, January 25, 2012

බොක්කේ දඩමස් ඇත්තවුන්ගේ හක්ක කුඩුවුණොත් මෙසේය......!

අපි සියල්ලන්ම පාහේ කටක් ඇරියොත් මාර මිනිස්සුන්ය. කිසිදා වැරැද්දක් කර නැත. කලද ඒ ප්‍රගතිශීලී අරමුණකිනි.

අපට විටින් විට අපගේ ආස්තානයන් වෙනස් කිරීමට සිදුවේ. ඒත් අපගේ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙනි. නැත්නම් ආත්මාර්ථය උදෙසා නොවේ.මේ සම්බන්ධ ඉතිහාසගත උදාහරණය දුටුගැමුණු රජතුමන්ය. එතුමා යුධ කලේ රාජ්‍යය ගැනුමට නොවේ,  “ දේශය රකින්ටය“.

අපගේ කාලයේද එබඳු උතුම් පුරුෂයන් ස්ත්‍රීන් පහලව ඇත. රට දිනෙන් දින දියුණුවට යන්නේ ඒ ආනුභාවයෙනි.

නමුත් මෙබඳු උතුම් හැසිරීම් අවඥාවට ලක්කරන්නන්ද නැතිවා නොවේ. ඔවුන් පවසන්නේ මොවුන් කටින් එකක් කීවද යටි හිත වෙන අරමුණක ඇති බවය.

එවැන්නන්ගේ “ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් “ යැයි මේ අසමජ්ජාතීහු කියති.

එසේ වෙත්නම් එසේ වෙත්වා.නමුත් අප බුද්ධිමත් ජනයා හක්කද බොක්කද හොඳින් හඳුනති. බුදුරැස්ද දඩමස්ද දනිති. දෙක පටලා නොගනිති. ( පසුගියදා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාද රෙද්ද උස්සා පෙන්වූයේ එයට උදාහරණයකි. ඇතැම්විට එතුමා දුටුගැමුණු ඥාතියෙක් වන නිසා විය හැක). එමනිසා කිසිවෙකුට මේ රටේදී නම් ඔය “ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් “ තියරිය පාවිච්චිකල නොහෙන බව මට විශ්වාසය.

එසේ තිබියදී ‘ලංකා නිව්ස් වෙබ්‘ නම් අසික්කිත, තහනම් කල වෙබ් අඩවියක්, ඉතාමත් ද්වේෂ සහගත පුවතක් පල කරයි. ඒ මෙරට සිටින අවංක, කාර්යශූර, ලස්සන, අහිංසක මාධ්‍යෙවේදිනියක් වන විජයානි එදිරිසිංහ මැතිණියට විරුද්ධවයි.


ඔවුන් විසින් එම මැතිණිය විසින් කල අභීත හෙලිදරව්ව හඳුන්වා ඇත්තේ, ‘පච විජයානිගෙන් තවත් අධෝමුඛ වාතයක් ‘ ලෙසය. ඇගේ දේශප්‍රේමීකම ඔවුන් හෑල්ලුවට ලක්කර ඇත්තේ පහත පුවත ලියූ නිසාය.

රටින් පැන්න මාධ්‍ය නඩය රටට එරෙහි කුමන්ත්‍රණයක

* ප්‍රහාරයකට ආරක්‍ෂක අංශ පෙලඹවීමේ උත්සාහයක් * මුදල් දී රවටා ජනතාව සහභාගි කරවීමේ තැතක් - විජයානි එදිරිසිංහ
කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන මෙම උද්ඝෝෂණයේ සියලු විය හියදම් දරන අතර මෙහෙයවන්නන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇත.



දේශහිතෛශී ජනතාවනි, මෙබදු අවලම් වෙබ් අඩවි වලින් රට රැක ගැනීම උදෙසා සැවොම දැනුවත් කරන ලෙසත්. ඒ වෙනුවෙන් මේ සටහන හැකිතරම් බෙදා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

කොටි විරෝධී විජයානි එදිරිසිංහ මැතිණියට ජයවේවා.........!




ප.ලි: කවුරුන් හෝ මා ඉහත කී ලස්සන, අහිංසක වැනි විශේෂණ එතුමියට නොගැලපේ යැයි සිතන්නේ නම්, එතුමියගේ ඡායාරූපයක් මෙතැනින් නරඹා සැක හැරගත හැකිය.

3 comments:

  1. මාද්‍ය සදාචාරය නමට පමණි..

    ReplyDelete
  2. බුදු අම්මේ සැහෙන කාලෙකට පස්සේ, මාත් ඔය දේශද්‍රෝහි වෙබ් අඩවි වලට විරුද්ධයි

    ReplyDelete
  3. @බුවා, ඇයි මචං උඹමනෙ කිව්වෙ මුං ගැන මොකට ලියන්නද කියල. ඊට පස්සෙ ලියන එක නවත්තලම දැම්ම. පාස්වර්ඩ් අමතක වුණා. නඩු ගොඩයි. මේ චාමිය මාව කූද්දල ගත්තෙ නැත්නම් තාම ලියන්නෑ. :)

    කොහොමත් ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete