Thursday, May 27, 2010

යහ සිතුම් පිබිදෙන උතුම් වෙසඟක් වේවා........


අද දිනය ලෝ වැසි බෞද්ධයන්ගේ උතුම්ම දිනය වන්නේය. ඒ ඔවුන්ගේ ශාස්තෲන්වහන්සේ මෙලොව ඉපදුණු, විදසුන් වඩා බුදුවුණු, සියල්ලෙහි අනියත බව පසක්කොට දෙමින් පිරිනිවුණු දිනය අද හෙයිනි.

ඉඳින් අද දින බොහෝ බුදුනුවන් පන්සල් යනු ඇත. දන් දෙනු ඇත. සිල් ගනු ඇත. බණ අසනු ඇත. ඒ අතර ඇතැමුන් ඊයේ හවස පරෙස්සමට අරන් තබාගත් 'සීල්' ද ගනු ඇත.

ජනමාධ්‍යයන් පුරා බුදුබණ පිරී ඉතිරී යනු ඇත. ඒ අතර බුදු දහම හා අන් ආගම් සමානයැයි කීම්ද ( ආගමික සහජීවනය), නූතන විද්‍යාවෙන් කෙරෙන බුදු බණෙහි විස්තර කිරීම්ද, ප්‍රාතිහාර්යය පෑම්ද බොහෝ වනු ඇත.

අද මම මේ කිසිත් ගැන නොසිතමි. සිදුහත් කුමරු උපන් විගස ඇවිද්දා වුවද නැතද මට කම් නැත. බුදුන් යමාමහ පෙලහර පෑවද නැතද මට කම් නැත. තව්තිසාව හෝ අකනිටාව ගැන අද නම් මට කිසි වැදගැම්මක් නොමැත්තේමය.ජේසු බුද්ධ ශ්‍රාවකයෙක්ද, මුහම්මද් ධර්ම වංචාවක යෙදුනද යන්න පිළිබඳ මම වද නොවෙමි. 

අද මාගේ ශාස්තෲවරයානන්ගේ දිවියේ වැදගත් සිදුවීම් තුනක් සිදුවූවා යැයි අප සිතනා දිනයයි. අප අදහනා දිනයයි. අප විස්වසනා දිනයයි.

ඒ සිතිවිල්ලම, ඒ ඇදහිල්ලම, ඒ විශ්වාසයම ම'සිත ප්‍රීතියෙන් පුරවාලයි. නිවාලයි. ආඩම්බරකරවයි.

මම බුදුන් සරණ ගියෙමි. ගිය අයෙක්මි. මා ප්‍රීතිවන්නේ එහෙයිනි. ආඩම්බරවන්නේද එහෙයිනි.

මා බුදු සරණ ගියේ ප්‍රාතිහාර්යය දැක නොවේ. පරලොවට බියෙන් නොවේ. දෙවියකු හෝ භූතයෙකු බියකල හෙයින්ද නොවේ.

ඒ මහා පුරුෂයා ඇදහීමට, අනුගමනය කිරීමට, වැඳීමට යුතු ගුණ කඳකින් යුතුවූ නිසාය. සිය ඉගැන්වීම සිය පැවැත්මෙන්ම තහවුරු කල නිසාය. සිය දහම පහුරක් කොටගෙන දුකෙන් එතෙර වීමට අපට අනුශාසනාකල නිසාය. එ'පහුර කරතබා පරෙස්සම් කරන්නැයි කිසිදා නියෝග නොකල නිසාය. තමා සොයාගත් මාර්ගයේ යන්නැයි පොළු මුගුරු ගෙන අප පසුපස එලවීමට ගෝලයන් පත් නොකල නිසාය. සහනය උදෙසා වූ ධර්මය බර නැංගුරමක් නොකොට ලුහු පියාපතක් කොට දුන් නිසාය. ඒ දහම් බිඳකින් බිඳී විසිරුණු සිතකට නව ජීවයක් දිය හැකි නිසාය. ( අප සියල්ලෝ අඩු වැඩි වශයෙන් කිසා ගෝතමිය තරමටම අවාසනාවන්ත හෝ වාසනාවන්ත වන්නෙමු).

ඔබ සියල්ලන්ටම ඒ උතුම් බුදුගුණ සිසිලෙන් සිත් නිවී පහන්වෙන යහපත් සිතුම් දළුලන වෙසක් දිනයක් වේවා.

ඡායාරූප උපුටනය: http://w1zzy.deviantart.com/art/To-The-Light-92138181

1 comment:

  1. වටිනා කියන ලිපියක සහෝ.
    මේ විදිහට හිතන අය හරිම දුලභයි. හුඟක් අයට ඕනේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රාතිහාර්යය ගැන කතා කරන්න මිසක් බුදුන් වදාල දේ තේරුම් ගන්න නෙමෙයි.

    අවසාන ලෙස ඔබටත් සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !!!

    ReplyDelete