Wednesday, July 21, 2010

ආපසූ හැරේ......න්..........!

.


මේ දිනවල ඉතා වැදගත් සංකල්පයක් කරළියට පැමිණ තිබේ. ඒ පුරාණ ජීවන රටාවට (අතරමඟදී අපට මඟහැරුණු - අප බෑයි කියද්දීත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් හා ඔවුන්ගේ දේශීය බත්බැලයන් විසින් බලෙන් අත් හැරවූ) යලි ගමන් කිරීමයි. මහින්ද චින්තන වීරයන්ට අනුව මෙය දේශීය ආර්ථිකයට නව ගැම්මක් දීමකි. උපවාසවංශට අනුව මෙය ෂුගර්, කොලෙස්ටරෝල් අඩුකරගෙන සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට ඇවැසි මූලිකම පියවරයි.

ඔවුන්ට අනුව පාන්මිල වැඩිවන්නේ බත් කවන්ටය. ගොවියාගේ හාල්ටික විකිණී ගොවියා සුඛිත මුදිත කරන්නය. මේ බව දැනටමත් සාර්ථක වී ඇති බව පොලොන්නරුව පැත්තේ මෝල් හිමියන්ගේ පැල්පත් හා ගොවියන්ගේ මාළිගා දුටුවිට පැහැදිලි වේ. මේ මහා ආර්ථික විශ්ලේෂකයන් හුරේ දමන සහනය කිසිදා ගොවීන් අතට නොයන්නේ අතරමැදියන් පිරිසක් නිසා බවත් එයට විසඳුමක් සෙවිය යුතු බවත් ඔවුහු අමතක කරති. යටත් වැසියෝද අමතක කරති. ඒ වෙනුවට කථාවට විසිල් ගසති.

උපවාසවංශ අපගේ පැරණි පරිභෝජන රටාවට යෑමට කථා කරන ගමන් GSP+ යනු එම රටවල් තම පාරිභෝගිකයා වෙනුවෙන් දුන් සහනයක් යැයිද, එම නිසා ඊට කෙලවුනාට කමක් නැතැයිද පවසයි. ඒ වෙනුවට දේශීය කර්මාන්ත නගා සිටුවීමට කථාකරයි. එය නැතිවීමෙන් කඩා වැටෙන්නේ දේශයට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ඇඟළුම් කර්මාන්තය බව ඔහුගේ උපවාසගාමී මොළයට නොතේරේ. එම සහනය සියළු රටවලට ලබාදී නැතිබව මේ කපටි දේශපාලුවා මෙහිදී නොකියයි. ඒ වෙනුවට ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් පිලිතුරු දෙයි. නමුත් මෙහිදී මොහු අමතක කරවන කාරණය වන්නේ GSP+  බදු සහනය මඟින් අප නිෂ්පාදන අඩු මිලකට විකිණීමේ හැකියාව ලැබුණු බවත් ඒ නිසා නිෂ්පාදන පිරිවැය අඩු වියට්නාමය, ලාඕසය, චීනය වැනි රටවල් වල අඩුමිල නිෂපාදන සමඟ අපට සටනක් දීමට හැකිවූ බවත්ය. දැන් ඒ අඩුමිල ලබාගන්නට වන්නේ අපේ ශ්‍රමිකයන්ගේ වැටුප හෝ පහසුකම් අඩුකිරීමෙන් පමණක් බවත්ය.

මට අනුව නම් මේ සියල්ල තක්කඩිකම්ය.  අප සමාජය ආපසු හැරී යා නොහැකි තරම් දුරකට පරිභෝජනවාදය ඔස්සේ පැමිණ ඇත. එහෙයින් ආපසු යෑම මාරයි යන්න ප්‍රලාපයක් පමණි. මොවුන් කිසිවෙකුත් ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් දරන්නේ නැත. මෙම ක්‍රමය පවත්වා ගැනීම උදෙසා නොස්ටැලිජියානු ආතල් එකක් ගම්‍ය කරනවා පමණි.

තේරුම් ගැනීමට මඳක් අපහසුවන්නේ මේ රටේ මිනිස්සු මෙතරම් මේ සංකල්ප විශ්වාසකරන්නේද මේ දේශපාළුකථා වලට හුරේ දමන්නේ ද මන්ද යන්නයි. එය අනවබෝධය විය නොහැක.

එසේ නම් එයද තක්කඩිකම විය යුතුය. එසේ සිතීම වඩාත් තර්කානුකූල වන්නේ පෝදා උදේ පන්සල් ගොස් පැමිණ, පෙරදා පෝලිමේ හිඳ මිලට ගත් අරක්කු බෝතලය හිස්කරමින්, බුදුදහම ගැන තර්ක කරනා සැදැහැවතුන් සිටින රටක මේවා වන හෙයිනි. ක්ලබ් එකකට රිංගා කෙල්ලකුගේ බ්ලව්ස් එකතුලින් අතදමනාගමන් කාන්තා විමුක්තිය, දේශප්‍රේමය වැනි බරසාර මාතෘකා කථාකරන හෙළයන් පෙරමුණ ගත් රටක මේවා වන හෙයිනි.


.

No comments:

Post a Comment