Wednesday, July 28, 2010

වත්ත සුද්ධ කිරීමට ගොස් ගස්වලට පොලු ගැසීම.....

.

අප බොහෝ දෙනෙකු සිය දිවියේ එක් වරක් හෝ පිරිස් පිටින් ගොස් යම් පොදු කටයුත්තකට උදව් දී ඇති බවට සැක නැත. ඒ බොහෝ විට මළ ගෙදරක වත්ත සුද්ධ කිරීම හෝ හට් ගැසීම විය හැක.

මෙබන්දකට සහභාගි වූ බහුතරයක් කරන මුල්ම කටයුත්ත වන්නේ  කලයුතු කටයුතු පසෙක ලා නිවසේ ඇති කුමක් හෝ ගසකට පොළු ගසා ගඩා ගෙඩි කැඩීමය. නැතිනම් ගැටිස්සියන් පිරිසකගේ අවධානය ලබා ගැනීම උදෙසා වීරක්‍රියා ලෙස පෙනෙන කුමක් හෝ ගොබ්බ වැඩක් කිරීමය.

මේවා කරන්නට ගිය විට පැමිණි වැඩය අතපසු වේ. පැය බාගයකින් ඉවරකරගත හැකි වැඩය පුරා රැයක් ඇදේ. නමුත් වැඩය ආතල්ය. සතියක් පමණ කථා කරන්නට දේවල්ද ඉතිරි වන්නේය.

අප බහුතරයක් මෙම පුරුද්ද අපේ එදිනෙදා ජීවිතවලටද රැගෙනවිත් ඇත. ඒ තම වෘත්තීය වගකීම් වලදීද ආතල් එකට, පොරත්වයට මුල දීමයි. එසේ කිරීම හේතුවෙන් කල යුත්ත පසෙක තිබියදී වෙනත් මඟුලක් වෙනුවෙන් මහන්සි වීමයි.


නමුත් මෙබන්දන්ට ආදර්ශයක් විය හැකි මහා පඬිරුවනක් හෙළයේ මහිමයට පහලව ඇත්තේය.  ඒ වෙන කිසිවෙක් නොව මහාචාර්යය කාලෝ ෆොන්සේකා විද්වතාණන්ය. 

එතුමාණෝ දුම්වැටි මධ්‍යසාරවලට වැට බැන්දේ ඉතා සූක්ෂම ලෙස සිය බුද්ධිය යොදාගනිමිනි. දුම්වැටි හා මධ්‍යසාර මිනිසුන්ගේ දෑසට නොපෙනෙන ලෙස තැබූ විට කිසිවෙකුත් ඒවා පිළිබඳව දැනගන්නේ නැති නිසා ඒවා හංගා තැබීම ඉන් පලමු පියවරයි.

ඒ අනුව දැන් කිසිදු කඩයක ඉදිරිපස තබාගෙන ඒවා විකුණන්නේ නැත. අසමජ්ජාතියෙකු ගොස් ඒවා ඉල්ලූ විටද මුදලාලි  ඉල්ලූ එකාගේ හැඳුනුම්පත බලා, ඉන්පසු වටපිට බලා, අනතුරුව දෙකට නැමී හංගා තිබූ තැනින් ගෙන මහින්ද වින්තන පිටුවක ඔතා අතට දෙයි. හරියට ඉස්සර පිටකොටුවෙ කඩයකින් වැල පත්තරයක් ගන්නා සේය.

මඟ දෙපස හා සුපිරි වෙළඳ සැල්වල තිබූ බාර්වලටද ඒ සන්තෑසියම වී ඇත. ඒවා ප්‍රසිද්ධ මහජනයන් ගැවසෙන ස්ථාන වූ නිසා එතුමන්ගේ අණින් ඒ සියල්ල වසා දැමිණි. එසේ නැතහොත් ප්‍රචාරණයට කිසිදු රුකුලක් නොලැබෙන පරිදි ඒවායේ දැන්වීම් පුවරු බාහිර පෙනුම ආදිය වෙනස් කෙරිණි. ඔබ දැන් නිතර දකින කොටු සහිත රෙදිවලින් වසා දමා ඇති ගොඩනැගිලි කරලියට පැමිණියේ මෙතුමාගේ තේජසිනි.

එතුමන්ගේ මේ මහඟු කර්තව්‍යයට හරස් කැපීමට උත්සාහ දැරූ බටහිර ඒජන්තයන්ද නොසිටියා නොවේ. ඔවුහු ඒ අනුව කඩවල දුම්බොන කාමර ඇති කලහ. බස් හොල්ට් අසල දුම්බොන හට් ඉදිකලහ. මේ බැව් දැනගත් එතුමාණෝ එදා කතරගමදී ගිනි පෑගූ දෙපයින් ඇවිදගොස් එම පයින්ම ගසා ඒ සියළු ඉදිකිරීම් සමතලාකර දැමූහ.
 
මෙකී නොකී අටෝ රාශියක් කර්තව්‍යයන් මඟින් මත හා එහි ප්‍රචාරණයට වැට බැඳි එතුමාණෝ දැන් නාට්‍යවල හා පිට්ටනිවල සීන් පිළිබඳ සොයාබලා ක්ෂණික පියවර ගනිමින් සිටිති. ඒ අන් සියළුතැන් සුද්ධ කර අහවර හෙයිනි.

මෙයින් පසුව අරක්කු සිගරට් හෝ ඊට පර්යාය පද සිංහල වදන් කෝශයෙන් බැහැරකිරීමේ කර්තව්‍යයටද එතුමන් අතගසන බව ලංකාදීපයේ කරළියේ කතා බහට හෙට්ටිගේ නමැත්තකු පවසා ඇත.

ප.ලි.; කිසියම් කඩප්පුලියෙකු විසින් "හික්කා2010" වැනි තැනකට ගොස් පැමිණ මේ ලියා ඇත්තේ බොරුයැයි කිව හැක. නමුත් ඔවුන් දැනගතයුත්තේ එබඳු උත්සව නාට්‍ය දර්ශන මෙන් ලොකු කටවුට් ගසා, මහා පරිමාණ ඇඩ්වර්ටයිසින් කැම්පේන්කොට කරන වැඩ නොව, අප්‍රසිද්ධියේ රටට (???) කීයක් හෝ සොයා ගැනීමට කරන වැඩ බවය. මේ සම්බන්ධයෙන්ද අප මහැදුරාණෝ අනාගතයේදී තීරණයක් ගනු ඇත. නමුත් ඊට පෙර වඩා හානිදායක නාට්‍යවල හා රූපවාහිනීවල දර්ශන නවතා සිටිය යුතුය.

.

1 comment:

  1. මොන දේ වුණත් තහනම් කළාම ඒක ගොඩක් වටින දෙයක් බවට පත්වෙනව. ඒක මනෝවිද්‍යාත්මක සාධකයක්.
    ඔන්න කොහොද කරපු සමීක්ෂණයකින් හෙළිවුණාලු ඇමෙරිකාවෙද කොහොද මත්පැන් තහනම් කරල තිබුණ කාල සීමාවක් තුළ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගියා කියල.
    සමහර විට එහෙම වුණොත් රජයේ බදු ආදායම වැඩි වෙන්න පුඵවන්.

    ReplyDelete